Share us

Wednesday, December 19, 2012

පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස (Repost)


"කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් යාළු කරගෙන ඉන්නවද කියලා අහන්නෙ කොහොමද? හරිම සරලයි......"




















"උඹ කෑල්ලක් දාගෙන ද ඉන්නෙ?" , "උඹට කෑල්ලක් ඉන්නවද?"

"සරළ භාෂා ව‍්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනවා. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් අරන් බැලුවත් කෙල්ලෙක් සහ කෑල්ලක් අතර බරපතල වෙනස්කම් තියෙනවා. කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොරටෝක් දෙනවා.


පට්ට කෑල්ලක් සරළ කෙල්ලෙක් කියන්නෙ කවුද කියල. පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය විලාසිතා අනුගමනය කරන කාගේත් සිත් දිනා ගතහැකි රූපකාය වශයෙන් ගත්තම කිසි අඩුපාඩුවක් නැති දෙයක්. තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි. ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස්පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෝ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑ, දරුවන්ට කිරි දෙන්න බෑ, දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න බෑ. නමුත් කෑල්ලක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සර්වකාලීනයි (Updated). ඇය වෙළඳපල තුල පවතින සෑම සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා, ඒවා මිලදී ගන්නවා, සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇඳුම් පැළඳුම් ඇයට තියෙනවා. කෑල්ලක් පාරේ ගමන් කරන්නෙ ලතාවකට හිතලා. ඇඟට අරන්. අඟල් 2ක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනවා. ඇය එහෙම කරන්නේ අනිත් අය බලන නිසාමයි. ආකර්ෂණීය හැමදේම ඇය කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොඳයි වගේ පෙනුනත් හොඳ නෑ. අහිංසකයි වගේ පෙනුනුට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා පහන තිබ්බත් ආගමික නෑ. එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ.


සරල කෙල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ළඟට වෙලා කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදී කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නෙ අතිශය විශ්වාසවන්ත පිරිමි විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි, නමුත් මානුෂීය සබඳතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුලුවන්. සරල කෙල්ලෙක් අම්මා කෙනෙක් උනාම දවසක දරුවෝ කිරි බීලා බීලම ඇයව වැහැරිලා යනවා. කෑල්ලක් අම්මා කෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බීලා දරුවෝ වැහැරිලා යනවා. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනෑම එකක් හැඩට වැඩට කරන්න පුලුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, රෙදි හෝදන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් ඇයට පුලුවන්. කෑල්ලක් ළඟ තියෙන්නෙ ආකර්ෂණීය කාමයක් හා ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ළඟ ආදරයේ උණුසුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියෙනවා. කෑල්ලක් අපිට සැරින් සැරේට ළං වෙනවා, ඈත් වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම ළඟ තියාගන්න හිතෙනවා. කෑල්ලත් එක්ක තරහා උනාම ඒකිව බැනලා එළවගන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක තරහා උනාම වුනත් ළඟට වෙලා ඉන්න හිතෙනවා. කෑල්ලක් ළඟ ඉද්දි අපිට ඒකිව හුරතල් කරන්න හිතෙනවා, සරල කෙල්ලෙක් එක්ක ඉද්දි අපිට ඒ කෙල්ල එක්ක හුරතල් වෙන්න හිතෙනවා. කෑල්ලකට සාමාන්‍යයෙන් ඔබව අවශ්‍යතාවලදී මතක් වෙනවා. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා. කෑල්ලකට, call කරන්න එපා කිව්වම, ඒකි ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ඒත් ආදරේ කරන කෙල්ල එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා. මොකද එයාල හැමදාම නානවා."


උපුටාගැනීම -: එලකිරියෙන් 


Sunday, December 16, 2012

විස්මිත වැසි

මිනිස් ජීවිතයේ පැවැත්මට අත්‍යාවශ්‍ය අංගයක් වන ජලය ලබා දෙන වැස්ස ස්භාවධර්මයේ මහඟු දායාදයකි.වැස්ස නැති වූ විට ද වැස්ස වැඩි වූ විටද මහත් විපත් ගෙන දේ. "අයං වස්සාන කාලෝ " කියන වැසි සමයේ භික්ෂූන් වහන්සේලා වස් වසති.වැහි බලා තම කෘෂිකාර්මික කටයුතු කරයි. අනොරා වැසි, හද්දා වැසි, මොර සූරන වැසි, අකල් වැසි ආදී විවිද වැසි අපගේ ජන වහරේ පවතී.

අහසින් ජලය ලබා දෙන්නේ වැස්සෙන්,හිම වලින් හෝ හිම කැට වලිනි. එහෙත් අහසින් ගල් වැසි වැටුනා කිවහොත් ඔබ පුදුම වනවා නිසැකය. වර්ණ විද්‍යාවට අනුවනම් වැස්ස සමග ජලය පමණක් බිමට පතිත විය යුතුය, නමුත් හූනන්, ගෙම්බන්, කුරුල්ලන්, සහ මස් හා ලේ පවා ජලය මුසුව වැසි ඇදහැලුණු අවස්ත වාර්තා වේ.

1870 අගෝස්තු මස ඇමෙරිකානු එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැක්‍රමැන්තෝ හි වැසියන්ට දිය හූණන්ගේ වැස්සක් ලැබුණු බවට සැක්‍රමැන්ත්‍රෝ රිපෝටර් පුවත්පත වාර්තා කලේය.අඟල් දෙකේ සිට අට දක්වා දිගින් යුතු පණ ඇති හූණන් දහස් ගනනින් නගරයට වැටුන බව වාර්තා වේ. අහසින් හූනන් වැස්සේනම් ගෙම්බන් සහ මැඩියන් ඒත් සමග ඒම එතරම් පුදුමයක් නොවේ.ලොව සෑම දෙසින්ම ගෙම්බන් සහ මැඩියන් වැසි පිලිඹඳ වාර්තා වේ.

1794දී එක් අධික උණුසුම් සැන්දෑවක ප්‍රංශයේ ලලායින් නම් ගමකට විනාඩි 50ක් පමණ මැඩි පැටව්න් වැස්සත් සමග පතිත විය. ඉන් වැඩි දෙනෙකු ඉස්ගෙඩි අවස්ථාවේ සිටි බවත් හොඳින් පණ තිබූ ඔවුන් සෑම ජලයත් සමග සෑම දෙසටම ගමන් කල බව කියැවේ. මේ අවස්ථාවට සාක්කි වශයෙන් සිටියේ එවකට ඔස්ට්‍රියානු හමුදා වලට විරුද්ධව සටන් වැදී සිටි ප්‍රංශ හමුදා භටයින් 150 දෙනෙකි. හමුදා භටයින් සැඟව සිටි වළවල් වලට මේ ගෙඹි පැටව්න් වැටුන නිසා යුද කිරීම පසෙක ලා ඔවුන්ගේ තොප්පි වල හා ඇඳුමේ රැඳුනු ගෙඹි පැටවුන් ඉවත් කිරීමට සිදු වූ බව කියැවේ.

වර්ජීනියාවේ ඇලෙක්සැන්ඩ්‍රියා ගැසට් පත්‍රයේ 1855 දෙසැම්බර් කලාපය මෙසේ පල කලේය. "පටන්ගත් සීතල වැස්ස කෙමෙන් කෙමෙන් හිම බවට පෙරැලිණි. නමුත් සාමාන්‍ය හිම වලට නොවේ, උදෑසනම එලූ කලු විල්වුද පලසක් මෙන් මුලු පෙදෙසම දිස් විය. හිම වලට උඩින් ගනන් කල නොහැකි අයුරින් අල්පෙනිති තුඩු වලට වඩා කුඩා කුරුමිණියන් වසා සිටියහ. නගර වාසීහු අඩපණව සිටි කෘමීන් ගෙන රස්නය ලබා දුන් විට නැවත යතා තත්වයට පත් විය".


වෙළඳපලේ මාළු වල මිල ඉහල මෙවැනි සමයක මාළු වැස්සක් වැටුනොත් මාළු වෙළෙන්ඳන්ට කෙතරම් සතුටක් අති වෙයිද?. 1934 පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියාවෙ කිලාන්හි දුම් රිය පලට වැටුනු වැස්සක මිරිදිය පර්ච් වර්ර්‍ගයේ මාළු 150ක් පමණ සිටියහ.ඔවුහු මිදී සිටියෝය, 1878 සැප්තැම්බර් 11 වැනි දින සවස කැලිෆෝනියා බට් කවුන්ටියට මිරිදිය මාළු සහ කැට්ෆිෂ් වර්ගයේ මාළු වැස්සක් පතිත විය. විද්‍යාඥයෝ මෙවැනි සිද්ධීන් වලට හේතු ලෙස දක්වන්නේ ටොනේඩෝ කුණාටු මගින් මාළු හෝ වෙනත් ජීවී ගහන ජීවත් වන ප්‍රදේශ වලින් ජීවීන් උඩට ඇද ගන්නා බවත් අහසේදී සුලඟත් සමග ඈතට ඇදී ගොස් වැස්සත් සමග යලි බිමට පතිත වන බවත්ය.

ඔබ පාරේ ඇවිද යද්දී බිත්තර වැස්සක් පතිත උවහොත් ඔබට කෙඹඳු හැඟීමක් ඇති වේ ද? නමුත් 1786 මැයි 5 දින මාස 6ක දැඩි නියඟයකට පසු හැමු නැගෙනහිර සුළං වැස්සකින් බටහිර ඉන්දීය කොදෙව් වල හයිට් දිවයිනේ පෝර්ට් ඒ.ඕ. ප්‍රින්ස් වලට කළු බිත්තර තොගයක් පතිත විය.මින් සමහර බිත්තර රක්කවන ලද අතර ඉන් බිහි වූයේ හම් තට්ටු කීපයකින් යුතු ඉස්ගෙඩියන්ය.


මේ බිත්තර වර්ෂාවෙන් පසුව ඊළඟට වාර්තා වන්නේ 1977 නොවැම්බර් මස ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ලුවී ඔවිස්පෝ වෙත වැටුන මළ සහ මැරෙමින් සිටි 500ක පමණ කවුඩු පණික්කියන් සහ පරෙවියන් රෑනකි,

මෙවැනි වැසි ලොව නන් දෙසින් වාර්තා වන අතර සමහර සිද්ධීන් වලට විද්‍යාත්මක විසඳුමක් ලබා දීමට අපහසු වී ඇත ,.,.එහෙත් 99%ක් ම විද්‍යාත්මකව පහදා ඇත



උපුටාගැනීම-: විස්මිත ලොකය
                     අසෝක මාලිමගේ

Monday, December 10, 2012

2012 ලෝක විනාශය ?

මුලින්ම කියන්න ඕනෙ මෙක මම ලියපු එකක් නෙවේ,,මේක රීපෝස්ට් එකක් ,ලෝකය පුරා පැතිරෙන ලෝක විනාශ භීතිකාව ලංකාවටත් යම්තාක් දුරකට බලපාල කියල හිතුව නිසා තමයි මේක දාන්න හිතුවෙ,,මේ කටකතාවෙ විද්‍යාත්මක සත්‍ය මේ ලිපියෙන් දැනගන්න පුලුවන්

ලෝක විනාශය විද්වතුන්ගේ ඇසින්

ලෝක විනාශය සිදුවන්නේ වසර බිලියන ගණනකින්
2012 වසර අවසානයේදී ලෝක විනාශය සිදුවෙතැයි යන විශ්වාසය සමහරුන්ගේ සිතේ පැළපදියම් වී තිබේ. මෙතෙක් කල් හරි හම්බ කළ බව බෝග, වත
ුපිටි, යස ඉසුරු පසෙක තබා හිටිගමන් ජීවිතය හැරයන්නට සිදුවුවොත් යන සිතුවිල්ලෙන් පශ්චාත්තාපී වන්නෝද සිටිති.

ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? එසේ නම් ඒ කවදාද? කොයි ආකාරයකටද? ලෝක විනාශය පිළිබඳව කතාන්දරයේ විද්‍යාත්මක පසුබිම කුමක්ද? විද්‍යාත්මක මතය අනුව ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? මේ ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

නාසා ආයතනයේ හබල් දුරේක්ෂය සමග ගවේෂණ කටයුතු කළ තාරකා විද්‍යාඥයකු වන කාවන් රත්නතුංග මහතාගෙන් අපි තොරතුරු විමසුවෙමු.

ලෝකයේ ජීවත්වන්නවුන් ප‍්‍රමුඛව ලෝකයේ පවතින භෞතිකයන් විනාශ වෙන්නට ක‍්‍රම කිහිපයක්ම ඇතත් 2012 වසර අවසානයේ ලෝකය විනාශ වේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක පදනමක්, කිසිදු විද්‍යාත්මක සත්‍යතාවක් නැත. මේ වසරේ පමණක් නොව තවත් වසර බිලියන ගණනක් අවෑමෙන්වත් ලෝක විනාශය සිදුවෙන බවට කිසිදු සාක්ෂියක් නැත.

විද්‍යාඥයන්ගේ මතය අනුව මේ විශ්වයේ සියල්ල ආරම්භ වී ඇත්තේ මහා පිපිරුමකිනි. එතෙක් මෙතෙක් මේ පෘථිවියේ ජීවත් වූ ජීවීන් කොට්ඨාස බිලියනයක් අතරින් එක් ජීවින් වර්ගයක් ලෙස මනුෂ්‍යයා හැඳින්විය හැකිය. පෘථිවියේ ජීවත්වූ ජීවීන් වර්ග අතරින් සියයට අනූනවයක් පමණ මේ වෙද්දී වඳවී ගොස් ඇත.

2012 දී ලෝක විනාශය සිදුවේයැයි යන මතයක් මානව සමාජය තුළ ප‍්‍රබලව මුල් බැස ගැනීමට බලපෑ ප‍්‍රධානම සාධකයක් වූයේ ආදිතම යුගයේදී මධ්‍යම ඇමෙරිකාවේ ජීවත් වූ මායාවරුන් නිර්මාණය කරන ලද දින දර්ශනයයි. මෙම දින දර්ශනය වත්මන් දින දර්ශනයට අනුව 2012.12.21 වැනි දිනයෙන් අවසන්වෙයි. මේ දින දර්ශනයට අනුව බොහෝ දෙනා විශ්වාස කරන්නේ මායාවරුන් අනතුරු හඟවා ඇත්තේ ලොව විනාශවීම පිළිබඳව වන ප‍්‍රබල අනාවැකියක් ගැන බවයි.

එහෙත් 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සහිත පදනමක් නැත. එවන් මතයක් ගොඩනැගී ඇත්තේ ආදී අනාගත වක්තෘන් පලකළ අනාවැකියක් අනුවය. එම දිනයේ පෘථිවියේ ධ‍්‍රැව හුවමාරුවක් ඇති විය හැකි යැයි කියවී තිබුණත් යම් දවසක එය ඇතිවිය හැකි නමුත් එම දිනයේම එය ඇතිවේයැයි යන්න කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවූවකි.

තවත් වසර බිලියන පහක් ඇවෑමෙන් ඉර විනාශ වීමෙන් ලෝක විනාශය සිදුවිය හැකිය. එසේ ඉර විනාශ වීමේ විද්‍යාත්මක පසුබිම සැකසෙන්නේ මේ අනුවය. පෘථිවියටත් සෞරග‍්‍රහ මණ්ඩලයටත් ශක්තිය සපයන සූර්යයාට ශක්තිය සපයන්නේ හයිඩ‍්‍රජන්ය. අනුමාන වශයෙන් තවත් වසර බිලියන පහකින් පසු සූර්යයා දහනය වීමට ඇති හයිඩ‍්‍රජන් අවසන් වී සූර්යයා මළ තාරකාවක් බවට පත්විය හැකිය. අද කහපාට තාරකාවක් ලෙස පවතින සූර්යයා ඒ අනුව යෝධ රතු තාරකාවක් බවට පත්වෙයි. එහි විශ්කම්භය ඉතා විශාලවෙයි.

සූර්යයාගේ අවසන් යුගයේදී හයිඩ‍්‍රජන් අණු හීලියම් අණු බවට පරිවර්තනය වීමේ වේගය ඉතා ඉහළ යයි. සූර්යයාගේ ප‍්‍රමාණය විශාල වී එය දැවැන්ත ප‍්‍රසාරණයකට ලක්වෙන්නේ එම පරිවර්තනය දරාගැනීමටය. සූර්යයාගේ වර්ණය මෙම ක‍්‍රියාවලියේදී රතු පැහැයට හැරෙයි. සූර්යයා විශාල වෙද්දී ඉන් නිකුත් කෙරෙන තාප ධාරිතාව ඉතා වැඩිවෙන අතර මේ හේතුවෙන් සූර්යයා විනාශ වීමට පෙර නිකුත් කෙරෙන අධික උෂ්ණත්වය හේතුකොට ගෙනද පෘථිවිය මත ඇති ජීවය වඳවී යා හැකියි. කෙසේ වුවත් අවසානයේ දැවැන්ත රතු යෝධයෙක් බවට පත්වෙන සූර්යයා තමාට ආසන්නයේ ඇති පෘථිවියත් ග‍්‍රහලෝකත් ගිල ගන්නට පටන් ගනියි.

සූර්යයා දහස් ගුණයකින් පමණ ප‍්‍රසාරණය වෙද්දී එයින් නික්මෙන අධික තාපය හේතුවෙන් පෘථිවියේ භූ ස්ථර ලාවා මෙන් උණු වී දිය වෙන්නට පටන් ගන්නා අතර උපරිම ලෙස ප‍්‍රසාරණය වූ සූර්යයා නැවත සංකෝචනය වීමේ ක‍්‍රියාවලියේ අවසානය වෙන්නේ සූර්යයා අධික ඝනත්වයක් සහිත කුඩා අඳුරු දහනය වීමට කිසිවක් නැති ගෝලයක් බවට පත්වීමයි.

සුදු වාමනයා (White Dwart)ලෙස තාරකා විද්‍යාවේදී හඳුන්වන්නේ මේ ස්වභාවයයි. එහි ප‍්‍රමාණය පෘථිවියේ ප‍්‍රමාණයට ආසන්න වෙයි. එහෙත් එහි ඝණත්වය ඉතාමත් අධිකය. සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ග‍්‍රහලෝක වලට බල ශක්තියක් සැපයීමේ හැකියාවක් මේ තත්ත්වයට පත්වූ සූර්යයාට නැති අතර මේ පසුබිම මත සෞරග‍්‍රහ මණ්ඩලය ජීවය නැති අන්ධකාර ප‍්‍රදේශයක් බවට පරිවර්තනය වෙයි.
සුදු වාමනයෙක්


පෘථිවිය මත ජීවය වඳවී යාහැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන තවත් විධි ක‍්‍රමයක් වෙන්නේ අඟහරුගේ සහ පෘථිවියේ කක්ෂ අතර එකිනෙක ගැටීමක්, නැත්නම් ඒවා ආසන්නයෙන් ගමන් කිරීමක් හේතුවෙන් ඇතිවෙන ගුරුත්ව තල්ලූවක් හේතුවෙන් පෘථිවිය තම කක්ෂයෙන් ගැලවී ඉවතට විසිවී යාමේ සංසිද්ධියයි. සෞර ග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක හිරුවටා පරිභ‍්‍රමණය වේ. කක්ෂ ඉතා ස්ථාවර ලෙස පවතින බව අප දුටුවත් දිගු කලක් ගතවෙද්දී එහිද සුළු වෙනස්කම් ඇති වී සෞර ග‍්‍රහ මණ්ඩලයේ අද ස්වභාවය වෙනස් වී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.
මහා පිපුරුම


විද්‍යාවට අනුව මෙයින් වසර බිලියන 13.7කට පෙර ලෝක විනාශය විද්වතුන්ගේ ඇසින් (Big Bang) විශ්වය ආරම්භ වූ අතර තවත් වසර බිලියන ගණනකින් එහි අවසානයද සිදුවිය හැකිය. විශ්වය ප‍්‍රසාරණය වන්නේ ඒ මහා පිපිරුමෙන් ලද ශක්තියෙනි. එහෙත් නැවත මේ විශ්වය සංකෝචනය වීමද යළිත් ඇරඹෙනු ඇත.

විශ්වය සංකෝචනය වීම යන දිගු ක‍්‍රියාවලියේ අවසාන අදියර වෙන්නේ විශ්වයේ මහා පිපිරීමට පෙර මොහොතකදී පැවැති ආකාරයෙන් මුළු විශ්වය ඇල්පෙනිති හිසක් තරමේ කුඩා ලක්ෂයකට කැටි වීමයි. මේ මහා හැකිළුම පෘථිවියේ පමණක් නොව මුළු විශ්වයේම අවසානය බවට පත්වෙයි. එහෙත් මේ අයුරින් මුළු විශ්වයම විනාශ වීමට තවත් වසර බිලියන තිහක් තරම්වත් කාලයක් ගතවෙනු ඇත.

ඇතැම් විද්‍යාඥයන් දක්වන මතයක් වන්නේ විශ්වය නැවත සංකෝචනය නොවී දිගටම ප‍්‍රසාරණය විය හැකි බවයි. මහා දිගහැරුම ( Big Rip) ලෙස මෙය හඳුන්වයි. මෙහි අවසන් අදියර විශ්වය මළ විශ්වයක් බවට පත්වීමයි.


මෙයින් වසර මිලියන හයසියයකට පෙර පෘථිවිය පැවතියේ සම්පූර්ණයෙන්ම අයිස් වලින් ආවරණය වීය. එදවස පෘථිවියේ ගස්කොළන් නොපැවති අතර මිහිමත සිටියේ ඒක ෙසෙල ජීවීන් පමණි.

වසර මිලියන 65කට පෙර විශාල උල්කාපාතයක් ගැටීමෙන් මේ පොළොවේ සිටි ඩයිනසෝර්ලා විනාශ විය. එය ලෝක විනාශයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

අපේ පෘථිවියට තර්ජනයක් එල්ල කළ හැකි යැයි මේ වෙද්දී සොයාගත් එකම ග‍්‍රාහකය වෙන්නේ ඇපෝෆිස්ය. වර්ෂ 2036 දී එයින් පෘථිවියට හානියක් සිදුවීමට ඇති ඉඩකඩෙහි සම්භාවිතාව ඉතා අල්පවෙයි. එමෙන්ම නාසා ආයතනය මේ වෙද්දී පෘථිවියට හානිකළ හැකි උල්කාපාත පිළිබඳව ගවේෂණය කරමින් ඒවා සොයා ගනිමින් ඒවා පෘථිවියේ නොගැටෙන්නට වෙනදිශාවකට තල්ලූ කරමින් පෘථිවිය විනාශ වීමට අවස්ථා ඇත්නම් ඒවා මග හරවා ගනියි.
ඇපෝෆිස් 


(Gamma-Ray) පිපිරුමක් නැත්නම් කළු කුහරයක් පෘථිවියට පැමිණීමේ සම්භාවිතාවද ඉතා අඩුය. ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය යනු පෘථිවියට ආසන්නම විශාල චක‍්‍රාවාටයකි. එය පෘථිවිය හා ගැටීමටද වසර මිලියන ගණනාවක් ගතවෙනු ඇත.

එමෙන්ම ගිනිකන්දක් පිපිරීම හේතුවෙන් ඇමෙරිකාවේ බාගයක්ම විනාශ වී යා හැකි වුවත් එය සිදුවීමටද තවත් වසර බොහෝ ගණනක් ගතවෙනු ඇත.

සියල්ල සාරාංශ කොට විද්‍යාත්මක ප‍්‍රවේශයක සිට ඉතා පැහැදිලිව සඳහන් කළ හැක්කේ 2012 දෙසැම්බරයේදී ලෝක විනාශය සිදුවීමේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ පදනමක් නැති බවයි. එහෙයින් ලෝක විනාශය සිදුවේයැයි යන අනියත බියෙන් වැලකී තම දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වඩාත් ඵලදායි වෙයි.

සටහන - සංජීවිකා සමරතුංග



ඇමෙරිකානු විද්‍යාඥයන් ලෝක විනාසය දකින හැටි

ලොව මුල්පෙළේ විද්‍යාඥයන් රැසක්ම පෘථිවිය වෙත විනාශයක් ගෙන ඒමට හැකි ඉඩකඩ කොපමණදැයි ඉකුත්දා ”ඇමරිකානු විද්‍යාඥයන්ගේ සඟරාව” මගින් හෙළිදරව්කොට ඇත. එහිදී ඔවුන් ලෝක විනාශයක් සිදුවිය හැකි ආකාර කීපයක් දක්වයි. එම ආකාර අද සිදුවන ක‍්‍රියාවලික් නොව වසර දස දහස් ගණනකින් සිදුවිය හැකි ඒවා ලෙස ඔවුහු දක්වති.

ගෝලීය උණුසුම ඉහළ යෑම

වර්තමාන මිනිසා මුහුණදෙන ප‍්‍රබලම ප‍්‍රශ්නයක් වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මෙහිදී කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය වැඩිවීම තුළ පෘථිවියේ පවතින උණුසුම පිටව යෑමට නොහැකි වී පෘථිවි ගෝලය උණුසුම් වීමක් සිදුවේ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ ධ‍්‍රැව ප‍්‍රදේශවලට අයත් ග්ලැසියර දියවී සාගර ජල මට්ටම ඉහළ යෑමත් වෙරළබඩ පහත් බිම් හා දූපත් සාගර ජලයෙන් යටවී දේශගුණික රටාව පවා වෙනස්වීමයි.

සාගර ජලයෙන් දූපත් යටවීමෙන් ලෝක සිතියම බොහෝ දුරට වෙනස්විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. අකලට වැසි ලැබීම් මෙන්ම නියංසාගත තත්ත්වයක් තුළ මිනිසාට ගෙවීමට සිදුවන්නේ දුෂ්කර දිවි පෙවෙතකි. මෙම ක‍්‍රියාවලියද වසර දහස් ගණනක් අනාගතයේදී සිදුවිය හැකි යැයි ඔවුන්ගේ නිගමනයයි.

ගිනිකඳු පිපිරීම්

පෘතුවිය අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික වීමත් සමග අධිපීඩන තත්ත්වයක් ඇතිවී ගිනිකඳු නිර්මාණය වන බවත් එම ගිනි කඳු හා වර්තමානයේ නිර්මාණය වී තිබෙන ගිනි කඳු පිපිරීයාම තුළ නිකුත්වන ලාවා සහ අළුවලින් විනාශයක් සිදුවන බව පෙන්වා දී තිබේ. විශේෂයෙන් නිකුත්වන අළු නිසා පෘථිවියේ අහස අඳුරු වීම තුළ හිරු එළිය පෘථිවියට නොලැබෙන තත්ත්වයකට පත්වනු ඇත. හිරුඑළිය නොලැබීම තුළ අයිස්වලින් පෘථිවි තලය වැසී යන අතර ශාක වර්ධනය හීනවී මිනිසාට කෑමට හෝ දෙයක් නොමැති වීමත් සමඟ උග‍්‍ර ආහාර හිඟයකට මුහුණ පාන බව අනාවරණය කොට ඇත. එම නිසා මිනිසුන් මියැදෙන බවත් ක‍්‍රමයෙන් ලෝකයෙන් ජීවින් තුරන් වීමෙන් ලෝක විනාශය සිදුවන බවත් විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. මේ සඳහා වසර ලක්‍ෂ ගණනක් ගතවේයැයි නිගමනය කර ඇත.

පදාර්ථ වායු බුබුලූවල ක‍්‍රියාකාරීත්වය

විශ්වය තුළ අතැතිවන විශාල පදාර්ථ වායු බුබුලක් හේතුකොට ගෙන ලෝක විනාශයක් සිදුවන බැව් පෙන්වා දී ඇත. මෙහිදී මෙම බුබුලූවල විශාලත්වය කොතෙක්ද යන්න තීරණය කර නොමැති අතර විශාලත්වය ආලෝක වර්ෂ දස දහස් ගණනක් වුවත් විය හැකි බව සඳහන් කර තිබේ. අපේ පෘථිවියටත් වඩා සුවිසල් විය හැකි මෙම බුබුලූ අධික වේගයෙන් ක‍්‍රියාකාරි වන අතරම විශ්වයේ පිහිටි ග‍්‍රහලෝක පවා ඒ වෙතට ඇද ගැනීමට හෝ ග‍්‍රහලෝකවල දැන් පවතින පිහිටීම වෙනස් කිරීමට හැකියාවක් පවතින බව සඳහන් කොට ඇත. මෙහිදී වෙනස්වන ග‍්‍රහලෝක පිහිටීම සමහර විට සූර්යයාගෙන් ඈත් කිරීමක් දැකිය හැකි අතරම සූර්යාට ළං කිරීමක්ද දැකිය හැකිය.

එමනිසා පෘථිවිය ඇතුළුකොටගත් ග‍්‍රහලෝකවල භෞතික සංසිද්ධීන් වෙනස් වන බව පෙන්වා දී ඇත. අධික ශීතල හෝ අධික රස්නය තුළ මෙම විනාශය සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

ලෝක විනාශය පිළිබඳ බෞද්ධ මතය

පැපිලියාන සුනේත‍්‍රාදේවි මහ පිරිවෙන්පති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කෘතිකාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි.

2012 වසරේ දෙසැම්බර් මස විසිඑක්වැනි දින ලෝක විනාශය සිදුවෙතැයි යන්න ගොඩනගා ගත් මතය මම නොපිළිගනිමි. මන්ද ලෝක විනාශය එක්වර සිදුවන්නක් නොවන නිසාය. එයට නිශ්චිත දිනයක් නොමැති අතරම එය සිදුවන්නේ ක‍්‍රමානුකූලවය.

බුදු දහම තුළින් මේ පිළිබඳ සවිස්තරාත්මක ලෙස විස්තර කොට ඇත. එහිදී ලෝක විනාශය පිළිබඳ දකින ක‍්‍රමය අපි දකින ක‍්‍රමයට වඩා බොහෝ වෙනස්ය.

චක්ඛවත්ති සීහනාද සූත‍්‍රය, අග්ගඤ්ඤ සූත‍්‍රය හා අංගුත්තර නිකායේ සත්තසූරියුග්ගමන සූත‍්‍රයේ වැනි සූත‍්‍රවල ලෝකය විනාශවන ආකාරයත්, ඒ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්නත් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. උන්වහන්සේ සඳහන් කරන ආකාරයට ලෝක විනාශය සිදුවන ක‍්‍රම 2කි.

පූර්ණ විනාශය - අර්ධ විනාශය

පූර්ණ විනාශය - ක්‍ෂිරපථයේ සූර්යයන් එක්කෙනෙකු සිටියත් ක‍්‍රමයෙන් දෙදෙනෙක්ද තවත් කලෙකින් තිදෙනෙක්ද ආදිකොට ගනිමින් සූර්යයන් සත් දෙනෙකු පායන අතර මේ නිසා පෘථිවි වාසීන් දැඩි උණුසුමකට නතු වන බව පෙන්වා දේ. එහිදී පර්වත, ගුහා, ගිනි කඳු ආදිය මෙම රශ්මියෙන් ගිනිගෙන අළු බවට පත්වන බව සඳහන්ව ඇත. අවසානයේ මහ සමුදුරේ ජලය අත් දෙකට ගන්නට හැකි වන බව සඳහන් වේ. ‘‘මහ සමුදෝ සුස්සුස්සකි’’ මහ සමුද්‍රය සම්පූර්ණයෙන්ම විනාශවන බව එහි අදහසයි.

අර්ධ විනාශය - මින් අදහස් කරනුයේ පෘථිවියේ තැනින් තැන යම් යම් පැති විනාශ වීමකි. එසේ නැතහොත් යම් යම් විනාශකාරී දේවල් සිදුවීමත් ය. මේ පිළිබඳ සප්තසූරියුග්මන සූත‍්‍රයේ සඳහන් කොට ඇත. එහිදී විනාශකාරී දේවල් සිදුවන්නේ මිනිසාගේ ක‍්‍රියාකලාපයන් නිසාය. එම ව්‍යසනයන් ස්වාභාව ධර්මයාට විරුද්ධවීම තුළින් හටගන්නා බව පෙන්වා දී ඇත.

මෙය පරිච්ඡේදයක වෙනස් වීමක් පමණි. මහ මුහුදේ රළ ගසනවා මෙන් වරින් වර ලෝකය තුළ බිහිවීම් වර්ධනය වීම හා පරිහානියට පත්ව නැතිවී යාම ඇත. නිදසුන් ලෙස ගත්විට ලොව ඉතා දියුණු ශිෂ්ටාචාර තිබී ඇත. මොහෙන්දොජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාර හොඳ තත්ත්වයෙන් තිබුණ ඒවා විය. ලංකාවද ඈත අතීතයේ දියුණු ශිෂ්ටාචාරයක්ව තිබුණි. වාරි තාක්‍ෂණයක් ද තිබුණි. එලෙස හටගත් දියුණු ශිෂ්ටාචාර යටපත් වී තවත් ශිෂ්ටාචාර බිහිවී ඇත. එමෙන්ම පුද්ගලයා තුළ ගුණධර්ම හොඳ හෝ නරක ලෙස සංවර්ධනය වී යහපත් අයහපත් සමාජ වරින් වර බිහිවී ඇත. ඒ හරහා ආයුෂ වැඩි වීමද අඩුවීම්ද සිදුව ඇත. එය ලෝකයේ වෙනස් වීමයි. එම වෙනස්වීම හොඳ හෝ නරක වන තරමට ලෝකය විනාශ වීම හෝ පැවැත්ම තීරණය කරන බව පෙන්වා දේ.පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස ලෝකය විනාශ වූවත් එම විනාශවීම සඳහා මූලික වන්නේ පුද්ගලයා මුල්කොටගත් සිතුවිලි ඇසුරින් ගොඩනගාගත් ක‍්‍රියාකලාපයන් වන බව බුදුන්වහන්සේ පෙන්වා දුන් සේක.

එහිදී ලජ්ජාව හා භය මිනිසුන් තුළ නොමැතිවීම ඔවුන් අධර්මයේ හැසිරීමට හේතුවන බව පැවසූ බුදුන් වහන්සේ මව, පියා සහෝදරයා නොහඳුනන තත්ත්වයට පත්වන බව පෙන්වා දුන්සේක.

”දස කුසල කම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති” ඉන් අදහස් වන්නේ දස අකුසල් කර්ම එන්න එන්න වැඩි වීමයි.

ලෝක විනාශය ඇති වීමේදී ආයුධ වර්ෂ, මෘග සංඥාව පහළවීම ආදිය ඇතිවන බව බුදු දහමේ සඳහන් කර ඇත. ආයුධ වර්ෂා යනු ආයුධ වැස්සක් නොවේ. ඉන් අදහස් කරන්නේ අවි ආයුධ පරිහරණය සමාජයේ සිටින සෑම පුද්ගලයකුම නැඹුරු වීමයි. එහිදී කෝපයෙන් එකිනෙකා මරා ගැනීම දැකිය හැකිය. එය වර්තමානයේ දැකිය හැකි තත්ත්වයකි. අපි කියන දේ පමණක් ඇත්තය. අනෙක් අය පවසනුයේ අසත්‍ය යනුවෙන් කියමින් කලකෝලාහල කරයි. දේශපාලනය දෙස බැලූවද එසේමය. අයහපත් දේ අගය කරන පිරිසක් බිහි වේ. එළුවෝ, කුකුළෝ, ඌරෝ, බල්ලෝ හිවල්ලූ වැනි සතුන්ගේ මානසිකත්වයෙන් ක‍්‍රියාකරන පිරිසක් බිහිවේ. මේ සඳහා නිදසුන් වත්මන් සමාජයෙන්ම ගත හැකිය. පියා තම දියණිය දූෂණය කිරීම, පුතා මව දූෂණය කිරීම් එසේ නොමැති නම් සමහර තරුණයන් වැඩිහිටි කාන්තාවන් දූෂණය කොටගත් ස්ත‍්‍රී දූෂණ වත්මන් සමාජයේ වෙලාගනිමින් පවතී. බුදුන්වහන්සේ එවන් වූ අසද්ධර්ම ලෝක විනාශය තුළදී පහළ වීම පෙන්වා ඇත්තේ මෘග සංඥා ලෙසයි.

මිනිසා විසින් පරිසරයට එරෙහිව යාම වර්තමාන සමාජයේ දැකිය හැකි තත්ත්වයකි. පෞද්ගලික පරිහරණය උදෙසාම සිදුවන වන විනාශය තුළින් හටගන්නා අර්බුදකාරී තත්ත්වයට ලෝකයේ බොහෝ රටවල් ගොදුරු වී ඇත. ගංවතුර, නාය යෑම් ඇති කොටගත් දේශගුණික සංසිද්ධීන් පවා බොහෝ වෙනස් වී ඇත.

වසවිස ආහාර සඳහා මිශ‍්‍ර කිරීම. වැඩි ආදායමක් ලබාගැනීම සඳහා නිෂ්පාදකයන් ගන්නා ක‍්‍රියාමාර්ගයකි. ලෙඩ රෝග බහුල වී ඇත. ඒ තුළින් හටගන්නා පිළිකා වැනි රෝගී තත්ත්වයන් වත්මන් සමාජයේ වසංගතයක් වී ඇත. එම නිසා මිනිස් ආයුෂ ක‍්‍රමයෙන් අඩුවීමක් දැකිය හැකිය.

බුදු දහමේ ආයුෂ අඩුවීම වසර දහය දක්වා සිදුවන බව චක්ඛවත්ති සීහනාද සූත‍්‍රයෙන් පෙන්වා දේ.

ලෝක විනාශය පිළිබඳ තැති ගැනීම එසේ නොමැති නම් ලෝකය ජය ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න විමසා බැලීම වටී. එසේ නම් කළ යුතු වන්නේ, පංචේන්ද්‍රීය ලෝකය ජය ගැනීමයි. ඒ සඳහා අප කළයුතු වන්නේ මරණයද, ව්‍යාධියද, ශෝකයද ලැබෙන්නේ යන්න පිළිබඳ අවධානයෙන් කල්පනාවෙන් කටයුතු කිරීමයි. එවිට ඒ තුළ ඇතිවිය හැකි ගැටලූ යම් ප‍්‍රමාණයකට අඩුකර ගත හැකිය. මුලූමනින්ම ඒවා නැතිකර ගත නොහැක. අපට කරදරයක් ව්‍යසන ඒමට පෙර අප ඒ ගැන බිය විය යුතු නැත. එම ව්‍යසනය ඇතිවූ විට එයට මුහුණ දීමයි කළ යුතුව ඇත්තේ. ව්‍යසනයක් ඒමට පෙර ඇති කළ යුත්තේ ව්‍යසනයක් සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඉඩකඩ අවම කිරීම යනු මිනිසා ගුණධර්මවලින් සමන්විත වීමයි.


ලෝක විනාශය විද්වතුන්ගේ ඇසින්
2012 ජනවාරි මස 22 14:21:31 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
සටහන - භද්‍රානි කුමාරි කුලතුංග